every which rocks you

2011-03-21

පබා කුවේණි සහ පට්ට කෑලි


Ladies First… අපි කාටත් නිතර මේ වචනය ඇහුනද ඊයේ පෙරේදා කාන්තා දිනයදා සම තැන සහ නිසිතැන ඉල්ලා කාන්තාවන් අව් කණ්නාඩි පැළද නිදහස් චතුරස්‍රය ලග උද්ඝෝෂණය කරනු දුටුවෙමි.ඒ අතර සමහර කාන්තාවන් ගේ සැමියන් සිය බිරිය උද්ඝෝෂණය අවසන් කර පැමිණෙන තුරු මෝටර් රථ ගාල්කරගෙන සිටින සිටින ආකාරයත් දැකිය හැකි විය.මේ අතර පබා හෙවත් උපේක්ෂා ස්වර්ණමාලි වහා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහි විය යුතු බව පාර්ලිමේන්තුවේදී කියා සිටියි.මෙහි පුදුමය මෙයයි පබාට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහි විය යුතු බව සිහිවන්නේද අර උද්ඝෝෂණය කළ කාන්තාවන්ට කාන්තා දිනය සිහිවු ආකාරයටම වීමයි.
කිසි දිනක පරමාදර්ශි කාන්තා චරිතයක් බිහි නොවු ශ්‍රීලංකාවේ කාන්තාව අද කොයිබටද? වත්මනෙහි ශ්‍රීලංකාව සතු ප්‍රබලතම ගැටළු අතරින් එකක් වන්නේ එයයි. පුරුෂ මුලිකව නිර්මාණය වු ලෝක ඉතිහාසය තුළ ආගමික ඉගැන්වීම් තුල සැමවිටම කාන්තාව සලකා ඇත්තේ දෙවෙනි කොට බව පැහැදිලිය.බයිබලයට අනුව මුලින්ම දෙවියන් වහන්සේ ආදම් නිරමාණය කරන අතර ඔහුගේ වම් ඉල ඇටයෙන් ඒවා මැවු බව කියවේ. මුලින්ම තහනම් ගහේ ගෙඩි කෑමට ආදම් පොළඹවන්නේ කාන්තාව බව කියවෙයි.ග්‍රීක ඉතිහාසයට අනුව ජුපිටර් දෙවියා ප්‍රොමිතියුස් සහ එමතියුස් ලවා මිනිසා නිර්මාණය කරන අතර මිනිසාගෙන් පළි ගැනිමට පැන්ඩොරා නම් කාන්තාව නිර්මාණය කර අයහපත පිරුණු මංජුසාවක් ඇය අතට දෙයි.මෙම මංජුසාව පිලිබදව පැන්ඩොරාට කුතුහලයක් ඇතිවී දේව අණ නොතකා ඇය එම මංජුසාව විවිර කර බැලු නිසා අයහපත සහ නපුර ලොව බිහිවෙයි.මෙම සියලු මතවාද ගත් කළ ලොව නිරමාණය කළ බව කියන දෙවියන් පවා පුරුෂෝත්තමවාදි ලෙස කටයුතු කර ඇති බව සක් සුදක් සේ පැහැදිලිය.
නමුත් 19 වන සියවසේ මුල භාගය වන විට කාන්තාව සිය ලිබරල් අයිතින් උදෙසා පෙළ ගැසිම අරඹයි.මුලික වශයෙන් ඇමරිකාව කේන්ද්‍ර කරගෙන මෙම කාන්තා නැගී සිටීම් ඇරඹෙන අතර පසුව එය ලෝකය පුරා පැතිර යයි.ශ්‍රේෂ්ට රුසියානු විප්ලවයේ කාන්තාව සටන් කාමී කාන්තාවක් බවට පත් වන්න් ඒ නිසාය.නමුත් දේව පුරානයේ පටන් පැවති පුරුෂොත්තම වාදි සංකල්ප වලට යටින් මේ සියලු හඩ නැගිම් අදටත් සිදුවන බව නම් බරපතල කරුණකි.
අපි ආසියානු කාන්තාව දෙස බලමු.ආසියානු කාන්තාවක් කිසියම් ක්ෂෙත්‍රයක කිර්තියට පත්වන්නේ නම් ඊට හේතුව වුනේ පුරුෂයෙකි.මෙය පුරුෂොත්තම වාදි ප්‍රකාශයක් නොව සැබැ යථාර්ථයයි.බෞද්ධ ඉතිහාසය තුල යසෝදරාට සිදුහත් කුමරු තොරාගැනීමට සිදුවන්නේ සිය කැමැත්ත මත නොවේ.මනමේ කුමරියට සිය පියා වන දිසාපාමොක් ගේ හොදම සිසුවා සරණපාවා ගැනීමට සිදුවෙයි.කුවේණිය රවටා රාජ්‍ය බලය උදුරාගන්නා විජය පසුව මධුරාපුරයෙන් කාන්තාවක් ගෙන්වා ගෙන කුවේණිය පලවා හරියි.
ආසියානු තත්වය ගත් කළ සෝනියා ගාන්ධි අද මතුවන්නේ රජිව් ගාන්ධි තුලිනි.අවුන් සාන් සුකි බිහිවන්නේ ඇගේ පියා ජනරාල් අවුන් සාන් විම හේතුවෙනි. බෙනාසිර් භුතෝ අලි භුතොගේ දියණිය වන අතර බංග්ලාදේශයේ කලිඩා ෂියා සිය සැමියාගෙන් පසු දේශපාලනයට පිවිසෙන්නීය.ශ්‍රිලංකාවේ සිරිමාවෝ බණ්ඩාරණායක බිහිවන්නේ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ගේ ඝාතනය විම නිසාය.ඉන් පසුවද චන්ද්‍රිකා,පවිත්‍රා,සුමේධා,නිරූපමා සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ වැනිකාන්තා දේශපාලන චරිත බිහිවන්නේ පුරුෂ කේන්ද්‍රියව වීම මෙහි විශේෂත්වයයි.

මේ නිසා වත්මන් ලාකේය කාන්තාවට පරමාදර්ශි චරිතයක් නොමැත.මෙය හොදින්ම දන්නා මාධ්‍ය කරුවෝ කාන්තාවට පරමාදර්ශි විර චරිත ලෙස තුල්සි ,ප්‍රවිණා වැනි චරිත හදුන්වා දෙන අතර එමචරිත අති සාර්ථක ලෙස සමාජගත වෙයි.
එම ෂානරයේ කාන්තාව තව දුරටත් පුරුෂොත්තම වාදී සංකල්ප ප්‍රවර්ධනය කරමින් සිටිති.තමා තම සැමියාගෙන් පහර කෑමට වඩා පබාට සැමියා පහර දීම මාර සීන් එකක් වන්නේ මේ හේතුවෙනි.පට්ට කෑල්ලක් නොවුනොත් අද පවතින්නට බැරි යැයි සිතන කාන්තාව තව දුරටත් පුරුෂයා මත පදනම්ව ජීවත් නොවන බව කියන්නට හැක්කේ කාටද?
කාන්තාවට ස්වාධීන පසුබිමක් ගොඩනගා ගැනීමට නොහැකිව ඇත්තේ සංස්කෘතික බාධකය නිසා බව අද කවුරුත් එළි පිට පිලිනොගනිති.පුරුෂෝත්තම වාදී සංකල්ප වල නිර්මාණයක් වන ලාංකේය මව සිය දියණිය තුලට රිංගා ඇයගේ අනන්‍යතාවට හානි කිරිමට පටන් ගන්නේ වැඩිවියට පැමිනුන දිනයේ සිටයි.එතැන් පටන් මව තුලින් සිතන්නට පතන්නට දියණියන්ට සිදුවීම අභාග්‍යයකි.මේ නිසා ස්වාධින කාන්තාවකට බිහිවිමට අවශ්‍ය අවකාශයක් මෙම සංස්කෘතික යැයි කියාගන්නා ඊනියා පසුබිම තුළ නැත.සම තැන නිසි තැන සමාජයෙන් ඉල්ලා සිටීමට පෙර ස්වකීය ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට කාන්තාවට හැකි වේ නම් ලාංකේය කාන්තාව මිට වඩා සාධනීය තත්වයකට පත්වනු නොඅනුමානය.

No comments:

Post a Comment