every which rocks you

2011-03-12

උන්මාද ආදරයෙන් සිත සුව පත් කර ගත් මම




උදේ ඉඳන්ම වැටෙන මහ වරුෂාව ද නොතකා තකහනියේම රැකියාවට යැමට සැරසුන ‍ සුදත් , පොඩිවී ගිය කමිසය අතින් රැලි ඉවත් කර ඇඳ ගත්තේය. තමන්ට හැකි අයුරින් සකසා ගත් බත් පාර්සල් දෙකද රැගෙන , කඩිනම් ගමනින් බස් නැවතුමට ගිය හේ බස් නැවතුමට වි නොඉවසිල්ලෙන් බලා සිටින්නට වූයේ විටින් විට අහසට ද රවමිනි.

නිල් අහස මෙන් පිළිවලට තිබූ තම ජීවිතයද , මහ වරුෂාවකට වටවී හේදී ගිය සෙයකි ඔහුට දැනුනේ. බස් නැවතුමේ සිටියේ ඔහුත් , තවත් පාසල් ශිෂ්‍යෙයක් සහ හිඟන්නෙක් පමණි.

“ චැහ් , බස් වැස්සට දිය වෙලා ද මන් ද? “

වැහි බිඳු වලින් සෑඳුන තිමිර පටල අතරින් මහ පාරේ ඈත කෙළවර බලමින් ඔහු සිතුවේය. බස් නැවතුම පසු කරමින් දෙපසට දිවයන වෙනත් වාහන අතරින් සුදු පැහැති කාරයක් වේගය බාල කර පසුකර ගිය බස් නැවතුම වෙත නැවතත් රිවස් කරන්නට විය.

බස් නැවතුම කෙලවරක සීතලෙන් ගුලි වි සිටි හිගන්නා ආසන්නයටම රිවස් වූ කාරයේ ඉදිරි වම් පස වීදුරුව ක්‍රමයෙන් පහත හෙලුන අතර ඉන් එලියට පැමිණියේ පාර්සලයක් සහිත වලලු දැමූ අතකි. පාර්සලය හිඟන්නා වෙත දික්කෙරුනේ කහ පැහැති සල්ලි කොළයක් ද සමඟිනි. වහා ඉදිරිපත් වූ සිඟන්නා පාර්සලය තම දෑතින්ම ගත්තේ නිවට නියාලු ලෙස තම කහට බැඳි දත් පෙල දක්වා සිනා සෙමිනි.

“තිස්තුන් කෝටියත් දෙවිය .........“

“ නැහැ නැහැ ඒව අවශ්‍ය නැහැ “ ගැහැණු හඬක් පැවසූ අතර. ඒ වන විට තුරන් වෙමින් තිබු වරුෂාවේ ප්‍රමාණය මනින්නට මෙන් ගැහැණු අත වැටෙන වැහි බිඳු කිහිපයක් අල්ලා ගත්තේය. ඒ සැනින්ම වාගේ කාරයේ වීදුරු ජනේලය අතරින් එළියට ආ ගැහැණු මුහුණ බස් නැවතුමේ සිටි පුද්ගලයන් වෙත යොමු විය.

“ සුදත් “

කාරයේ ඉදිරිපස දොර පලුව ඇරුන අතර ඉන් බැස ආවේ සොඳුරු පෙනුමැති තිස්වියේ පමණ වයසැති තරුණියකි. මඳ වරුෂාව අතරින් බස් නැවතුමට ගොඩ වූ ඇය.

“ සුදත් , ඔයාට මාව අඳුරන්න බැරිද ? මම . . . .මම මහේෂි “

“ මහේෂී “

“ ඔවු .හරි හරි ඔයා කොහෙද යන්නේ . මම මේ කොළඹ යන ගමන්. “

“ ගාලු යන්න “

“ හරි යන් එහෙනම් මාත් එක්ක “ තරමක් වට පිට බැලූ මහේෂී “ පුතා කොහාට ද යන්නේ “

“ පඹුරන ස්කොලෙ ට “

“ හරි එහෙනම් දෙන්නම යන් ,සුදත් ඔයා නඟින්න ඉස්සරහින් “

ශිෂ්‍යයා පාසල අසලින් බස්සන තෙක්ම ඔවුන් අතර කතාවක් නොවුනි. ඔහු බැස ගිය පසු කටහඩ අවදි කල ඇය.

“ ඇත්තටම සුදත් , ඔයාට මාව මතක නැද්ද ? “

“ ඇයි නැත්තේ. ඒත් ඔයා ගොඩක් වෙනස් වෙලා.“

“ රූපෙද නැත්තම් “

“ රූපය තමයි “

“ එහෙමද ? එහෙනම් ඉතින් මට ආයෙත් ඔයාට ඇප්ලිකේශන් එකක් දෙන්න බැරි වෙයි නේද ? “

“ ඇයි ? “

“ අපි දෙන්න වෙන් වුනේ ඔයාට මාව ගැලපෙන්නෙ නැහැ කියලනේ “

“ ම්ම් . . . මට සමාවෙන්න මාෂි “

“ සමාව මොකටද , හරි හරි දැන් කියන්න ඔයා කසාද බැදල ? “

“ ඔවු “

“ අප්පා . . . බබාලත් ඉන්නව ද ? “

“ නැහැ තවම “

“ සතුටින් “

“ ම්ම් ඔවු සතුටින් , ඔයා ? “

“සතුටින් “

“ ඔයා දැන් කොහෙද ඉන්නේ “

“ ම්ම්...... ඔයා මාව දාලා ගියාට පස්සෙ , ඔයා ඒ ඔෆීස් එකෙනුත් අයින් වුනා නේ. ඉතිං මටත් තව දුරටත් එතන වැඩ කරන්න බැරි වුනා.ඊට පස්සෙ මම එතනින් අයින් වුනා. ඔයත් එක්ක වැඩ කරපු සමීර තමයි මට අලුත් රස්සාවක් හොයල දුන්නේ “

“ සමීර , ! ! “

“ ඔවු. . . ඔයා මාව දාලා ගියපු අමානුෂික විදිහ නිසා. මම සෑහෙන අසරණ වෙලයි හිටියෙ සුදත් “

“ සමීර ! ! වෙන්න බැහැ “

“ ඇයි ! ! “

“ සමීර තමයි . ඔයා ගැන මට . . .සමීර තමයි අපි දෙන්නගේ සම්බන්ධය කඩන්න මුලික වුනේ “

“ එහෙම වෙන්නෙ කොහොම ද? සමීර ඔයා ගැන හරි දුකින් හිටියෙ. කොහෙද යන මෝඩයෙක් ගෙ බොරු වලට අහු වෙලා කියල “

ඒ වන විට ගාලු කොටු පවුර පෙනෙන දුරට වාහනය පැමිණ තිබුනි.
“ ඔයා කොහෙන් ද බහින්නේ “

“ හිරගෙදර ලඟින් “

“ දැන් හිරේ ද වැඩ කරන් නේ “

“ ඔවු , මට කියන්න මාෂී , දැන් ඔයා කසාද බැදල ද? “

“ ඔවු “

“ සමිර ව ද? “

“ නැහ් “

සුදත් දිග සුසුමක් හෙලා තම ලය සැහැල්ලු කර ගත් ආකාරය දුටු මහේෂි . සිදුවි ඇති සියල්ල ඒ සුසුමේ දිග පලලින් වටහා ගන්නට තරම් බුද්ධිමත් වුවාය.

ගාල්ල කොටු පවුර දෙස ද මහේෂි දෙස ද මාරුවෙන් මාරුවට බැලූ සුදත් ඇයට සමුදී කාරයෙන් බැස නොපෙනී යන තෙක් බලා සිට නෙතට නැඟුන කඳුළ ඔහේ ගලා යාමට ඉඩ හැරියාය.

- - - - - - - --- - - - - - - - - - - - - - - - - - - -

මහේෂී කාරය උණවටුන මානසික රෝහලේ රෝහල් ගේට්ටුව ගාව අවේලාවේ නවතා රෝහල් ගේට්ටුව අරුනතුරු සිටියේ තම ස්වාමියා තමන්ගේ පැමිණිම අපේක්ෂාවෙන් සිටින නිසා ය. . හෙට සිට දින තුනක් ඔහුට මෙන්ම ඇයටද මද නිවාඩුවක් ලැබෙන බැවින් දෙදෙනා සමඟ කොළඹ පිහිටි තම නිවහනට ගොස් සැනසිල්ලේ කාලය ගත කිරීමට ඔවුන් තිරණය කර තිබුණි.

වෝඩ් රවුන්ඩ් ගිය රෝහන එන තෙක් රෝහලේ රැඳී සිටි ඇයගේ සිතට වරින් වර පැමිණි සුදත් පසුගිය මතක දැඩිව අවුස්සන්නට විය. වැඩිය කතාබහක් නොමැති රෝහන පිස්සන්ට ඉතා කාරුණික වෛද්‍යවරයෙකි. එසේම මාෂිට හොඳ ස්වාමි පුරුෂයෙකි. සියල්ල සිදුවන්නේ හොදට නොවේ ද?

“ මාෂි . සොරි මාෂි. ගොඩක් වෙලා පිස්සන් කොටුවෙ කොටු කරල තිබ්බට ඔයාව. කමොන් මාෂී ලෙස්ට් ගෝ. දැන් ලෙඩ්ඩු බලන වෙලාව ලගයි. මිනිස්සු පිරෙන්න කලින් අපි යමු . අද ඉදල දවස් තුනක් අපි දෙන්නට අපේම ලෝකෙට වෙලා ඉන්න පුලුවන් “

“ මාෂි . . . මොකද මේ . අද ඔයාගේ මුහුණ බැලුවම මට පේන්නෙ පිස්සියක්ව නෙ . හේ හේ පිස්සියක්ට වාහනයක් අරන් යන්න දෙන්න බැහැ .කෝ කෝ දෙන්න මට යතුර “

වාහනයට ගොඩ වු ඔවුන් දෙදෙනා ද සමඟින් සෙමින් ගමන් ඇරඹු කාරය , රෝහල් ගෙට්ටුව සමීපයේදී මදක් නතර වුයේ රෝහනගේ පණිවිඩයක් මුරකරුට පැවසිමට තිබු හෙයිනි .

“ සම්පත් , අද ඉදල දවස් තුනක් මම නැහැ.ක්වාටස් එක පැත්ත පොඩ්ඩක් බලන්න “

ඔහු පණිවිඩය පවසන අතර තුර , රෝහල ඉදිරියේ නතර වූ බසයෙන් බැස ගත් මිනිසුන් එකා දෙන්නා කඩිමුඩියේ රෝහල තුලට රිංගනු මාෂි බලා සිටින්නට වුයේ අරමුණකින් තොරවය. ඒ අතර තුර මේ. “ සුදත් “

“ කවුද මාෂි “

“ නැහ් . . . ඉස්සර මගේ ස්කෝල යාලුවෙක් “

“ ආහ් අර කොල්ල ද ? පවු, ඒ මනුස්සයගේ නෝන ත් මෙහෙම තමයි ඉන්නේ. ලැබුන දරුවා මාස තුනකින් නැති වෙලා. එදා ඉඳල ඒ ගෑණු මනුස්සයට මොළය හොඳ නැහැ. හරි හරි අපි යමු. මෙතන හිටියොත් මගේ නෝනගෙත් මොළය නරක් වෙයි “

බසයෙන් බැස පාර පැන විත් අප සිටි කාරය ද පසු කරමින් බත් පාර්සලයක් ද අතේ ගුලි කර ගෙන තම ලෙංගතු දෑස හමුවන්නට යන ඒ මිනිසාට කලක් මාද පිස්සියක මෙන් පෙම් කළ බව ත් ඔහු අන්අයකුගේ මුසා බසට රැවටී මා හැර දමා ගිය පසු ඒ පෙම් සිත සුවපත් කළේ අද දින පිස්සන්ගේ දොස්තර වන නුඹ බවත් මට පවසන්නට ඇත්නම්.

“There is always some madness in love. But there is also always some reason in madness.”


උන්මාද ආදරයෙන් සිත සුව පත් කර ගත්
මම
සොඳුරු සිත

No comments:

Post a Comment